තමිල්නාඩුවේ මහ ඇමති ලෙස ජෝෂප් විජේ චෙන්නායි නුවර නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තමිල්නාඩු ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ දස දහස් ගණනක් ආධාරකරුවන් පිරිවරා ගනිමිනි.
තමිල්නාඩු ප්‍රන්ත මැතිවරණයෙන්, ජෝෂප් විජේගේ තමිලග වෙට්ට්‍රි කළගම් පක්ෂය ආසන 108 දිනා ගත් අතර, බහුතර බලය සහිතව ආණ්ඩුවක් පිහිටුවීමට ආසන 10 ක අඩුවක් පැවැතිණි.
තමින්ලාඩු කොංග්රස් පක්ෂයේ සහාය විජේ සහ ඔහුගේ පක්ෂයට හිමිවුවත්, බහුතරය ලබා ගැනීමට නොහැකි විය.
කොංග්රස් පක්ෂය සතුව ඇත්තේ ආසන පහකි.
තමිල්නාඩු කොංග්‍රසය යනු, ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන කොංග්රස් පක්ෂයේ තමිල්නාඩු නියෝජනයයි. විජේගේ දිවුරුම්දීමේ උත්සවයට කොංග්රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි ද සහභාගී විය.
වාමාංශික පක්ෂ සමග මෙන්ම ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් සමග වට හතක සාකච්ඡාවලින් පසු තමන්ට රජයක් පිහිටුවීමට හැකි බව විජේ පෙන්වා දුන්නේය. වාමාංශික පක්ෂ විජේ සමග සන්ධානගත වීමත් සමග තවත් ආසන 4 ක් විජේ සහ ඔහුගේ පක්ෂයට හිමිවිය.
ඊයේ (9) වනවිට තවත් වාමාංශික පක්ෂ කීපයක් ද විජේ සමග අත්වැල් බැඳගත් අතර, මේ වනවිට පක්ෂපාතී සමස්ත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 120 ක් යැයි පැවැසෙයි. තමිල්නාඩු මුස්ලිම් ලීගයේ සහාය ද විජේට හිමිවිය.
අද (10) විජේ සමඟ මන්ත්‍රීවරුන් නව දෙනෙක් අමාත්‍යධුරවල දිවුරුම් දුන්නාහ. ජෝෂප් විජේ, ජනප්‍රිය දෙමළ නළුවෙකි. විජේගේ රසික රසිකාවියන් ඔහු හදුන්වන්නේ තලපති විජේ යනුවෙනි. තලපති යනු නායකයා යන අරුතය.
රංගනයට සමු දී දේශපාලනයට පිවිසි තලපති විජේ, තමිලග වෙට්ට්‍රි කළගම් පක්ෂය පිහිටුවීම කළේ, දශක ගණනක් තිස්සේ මාරුවෙන් මාරුවට තමිල්නාඩුව පාලනය කළ ඩී.එම්.කේ. හෙවත් ද්‍රවිඩ මුනේත්ර කසාගම් සහ ඒ.අයි.ඒ. ඩී.එම්.කේ. හෙවත් ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුනේත්ර කසාගම් පක්ෂයට අභියෝගයක් කරමිණි.
